Friday, April 27, 2012




චිරන්තන සාහිත්‍යයේ භාෂා නිරුක්තිකයන් “භාෂතේ අනයේති භාෂා” (කතා
 කෙරෙනුයේ භාෂාව වේ) යනුවෙන් දක්වා ඇත. ඔවුන් “භෂ්” ධාතුව ව්‍යක්ත වචනය
 සේ සලකා භාෂාවේ ආකෘතිය කෙරෙහි ද අවධානය යොමු කොට ඇත. භාෂාව 
සමාජය සතු පොදු වස්තුවයි. මිනිසාගේ මානසික ක්‍රියාකාරිත්වයේ පර්යාප්ත 
ප්‍රකාශනශීලි ආකෘතිය වන භාෂාව අදහස් හා හැඟීම් ප්‍රකාශයට ශබ්දමය හා සංකේත වශයෙන් පද්ධති දෙකක් භාවිත කෙරේ.


සංකේත හා ලේඛනය බිහි වීමට ප්‍රථම මුඛ පරම්පරාගත ව මිනිසා ගේ දැනුම හා සංස්කෘතිය ගලා ආවේ ය. සංකේත පද්ධතිය නිර්මාණය වීමත් සමඟ භාෂාවට න්‍යාය හෙවත් ව්‍යාකරණ එක්විය. නිවැරැදි අර්ථ ප්‍රකාශනය සඳහා ව්‍යාකරණ අවශ්‍ය වේ. මේ වන විට සිංහලයේ ලේඛනය පරිහානියට පත්ව ඇත යන්න විද්වත් මතයයි. ඒ පිළිබඳ ව සංස්කෘතික අමාත්‍යාංශයේ සාහිත්‍යය අනුමණ්ඩලය සිංහල භාෂා දිනය නිමිතිකොට සංවිධානය කෙරුණු “සිංහල භාෂාව අභියෝග හා අභිවෘද්ධි කාරක” නම් සංවාදය ඇසුරින් මේ ලිපිය සැකැසිණි.
හෙළ බසින් ලියු සීහළට්ඨ කතා හෙවත් හෙළ අටුවා සිංහලයන් අතර පැවැති බව රේවත හිමියන් ගෙන් අසා බුද්ධඝෝෂ හිමියෝ ලක්දිව පැමිණ නව වැනි සියවසේ දී එම කෘති පාලියට නැඟූහ. මහින්දාගමනය සමයේ පෘථුල සාහිත්‍ය ව්‍යාපාරයකට ඔබින බසක් සිංහලයා සතුව පැවැතිණි. ක්‍රි. පූර්ව හය වැනි සියවසේ දී ද ලෝකය හා ලිපි ගනුදෙනු කිරීමට තරම් ප්‍රවීණ බසක් හෙළයා සතුව තිබී ඇති බවට මහාවංශය සාක්ෂි දරයි.
ක්‍රි. පූර්ව තුන් වැනි සියවසේ සිට විසි එක් වැනි සියවස දක්වා භාෂාව විවිධාකාර ලෙස වෙනසට භාජනය විය. ඕනෑම ජීව භාෂාවක් නිරතුරුව වෙනසට ලක් වේ. පාලි සංස්කෘත ප්‍රාකෘත අපභ්‍රංශ ආදී භාෂාවන් ගේ බලපෑමෙන් සිංහලය පෝෂණය විය. වර්තමානය වන විට සිංහලය විවිධ දුෂ්කරතා වලට මුහුණ දී සිටී. ගෝලීයකරණය හමුවේ ඉතා සුළු ජනකොටසක් වහරන සිංහලයේ අනාගතය කෙබඳු වේදැයි විමසීම වටී.

සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහතා ප්‍රකාශ කරන්නේ, ජාතික අනන්‍යතාවේ පදනම වන භාෂාවේ අතීත අනන්‍යතාවය රැක ගැනීම ගෝලීයකරණ සංසිද්ධියේදී භාෂාව භාවිත කරන්නන් ගේ වගකීම බවයි.
බටහිරින් එන බලපෑම ප්‍රබල වුවද අතීත පරම්පරාව භාෂාව පිළිබඳ දැක්වූ උත්සුකභාවය වත්මන් තරුණ පරපුර කෙරෙහි නොවීමෙන් ආසියාතික රටවල භාෂා භාවිත කරන්නන්ට එම බලපෑමට එරෙහි වී කටයුතු කිරීමට සිදුවී ඇත යන්න මහාචාර්යවරයාගේ අදහසයි. ඒ සඳහා භාෂාවේ නිවැරැදි භාවිතය, භාෂාවට හිමි විය යුතු තැන, භාෂා ශරීරය නිරුපද්‍රිතව පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
දකුණු ආසියාවේ පැරණිතම භාෂාවන්ගෙන් එකක් වන සිංහලයෙහි නවීකරණය පිළිබඳ අවධානය යොමු කරද්දී භාෂා ප්‍රසාරණයකට භාෂාව නොයොදවන ලද නවකතාව, පුවත්පත් හා සඟරා ආදි ක්ෂේත්‍රයන්හි යෙදවීම හේතු වූ බව ප්‍රකටය. විසි වැනි සියවසේ විද්‍යුත් මාධ්‍ය බිහිවීම හේතුකොටගෙන භාෂාවට සිදුවූ බලපෑම විශාලය. වාණිජ ව්‍යාපාර වූ මාධ්‍ය ඔස්සේ භාෂාව තවදුරටත් නවීකරණය විය. මාධ්‍ය ඔස්සේ නවීකරණය වෙද්දී භාෂාවට සිදුවන ව්‍යසනය අවම කිරීමට භාෂාව පිළිබඳ ප්‍රවීණයන් එම ක්ෂේත්‍රයන්හි අනුයුක්ත විය යුතු බව මහාචාර්ය ධර්මදාසයන්ගේ අදහසයි.
සිංහල පන්ති කාමරවලට පමණක් සීමා වූ විෂයයක් බවට පත් නොවීමට නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී සිංහලය අදට ඔබින ලෙස ඉගැන්විය යුතුය. ලේඛනයේ ඇති සන්ධි සමාස විභක්ති ඉගැන්වීම පැරැණි සිංහලයෙන් නවීන සිංහලය දක්වා ගෙන ආ යුතු වේ. සිංහලයට එක්වී ඇති ආනු හා අන් ප්‍රත්‍ය අපි පන්ති කාමරයේ දී උගැන්විය යුතු බව මහාචාර්ය ධර්මදාසයෝ පවසති.
කුමාරතුංග පඬිවරයා භාෂාව පිළිබඳ උගතකු බව පැවැසූ විනී විතාරණයන් විශ්වවිද්‍යාලයෙන් බිහි වූ භාෂා ප්‍රවීණයන් භාෂා පඬිවරුන් ඔහු ගැරහීමට පත්කරමින් නැඟී සිටි බව පැවැසීය.
වත්මනෙහි පවත්නා සිංහල භාෂා ප්‍රශ්නය යථා තත්ත්වයට පත්කොට සිංහලයෙහි ප්‍රබෝධයක් ඇති කිරීමට පාලි සංස්කෘත වැනි චිරන්තන භාෂා පිළිබඳ දැනුම ජනතාවට ලබා දීමෙන් කළ හැකි බව ද ඒ ඔස්සේ ව්‍යාකරණය හදාරන ජනතාව තුළ විනය ඇතිවන බව ද මහාචාර්ය විනී විතාරණයෝ පැවැසූහ.
ශතවර්ෂ හතරක් තිස්සේ බටහිරට නතුව තිබු ලංකාවේ සිංහලය කතා ව්‍යවහාරයෙහි පැවැතිය ද ශාස්ත්‍රීය ලේඛනයෙහි භාවිත නොවිණි. එහෙත් විසිවැනි සියවසේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය බිහි වූ අතර එන්. ඩබ්ලිව්. ගුණවර්ධන, මුනිදාස කුමාරතුංග වැනි ගිහි පැවිදි පඬිවරුන්ගේ බිහිවීමත් සමඟ සරසවි ඔස්සේ ප්‍රබුද්ධ යුගයක් නිර්මාණය විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිපති වූ සර් අයිවර් ජෙනිංග්ස් ගේ භාෂාව පිළිබඳ අදහස වූයේ ලංකාව දියුණු කිරීමට නම් සිංහල දෙමළ ද්වි භාෂාව ජනතාවට ඉගැන්විය යුතු බවයි. එහෙත් අලුත් ලෝකයට භාෂාව ඉගැන්වීමට උගත්හු තනි තනිව කටයුතු කළහ. ඩී. ඊ. ඊ. ප්‍රනාන්දු තාක්ෂණික වචන සඳහා සිංහල වචන අවශ්‍ය බව අවධාරණය කෙරිණි. එදා මෙදා තුර පැවැති කිසිදු රජයකට සිංහල භාෂාව දියුණු කිරීමේ අභිලාශයක් නොවීය.
බණ්ඩාරනායක මහතාගේ අදහස වූයේ ස්ව භාෂාව හදිසි කටයුත්තක් නොවන බවයි. මලලසේකර මහතා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළ ද ස්ව භාෂාවට සහාය දීමට පත්කළ කමිටුව ස්ව භාෂාව පමණක් යන මතය ඉදිරිපත් කළේය. 1957 වන විට ස්ව භාෂාව සිංහල පමණක් වුවද 1968 වන විට ඉංගි‍්‍රසි පමණක් වී 1990 වන විට එය තහවුරුව සිංහලය පරිහානියට පත්ව ඇති බවද, වත්මන් තරුණ පිරිස සිංහලය නැති කිරීමේ වගකීමට උර දී සිටින බව ද තිස්ස කාරියවසම් මහතා ගේ අදහසයි. ඊට අමතරව ගුරුකුල බෙදීම විශ්වවිද්‍යාල උගතුන් සාම්ප්‍රදායික උගතුන් නොතකා හැරීම ද සිංහලයෙහි පරිහානියට හේතු වූ බව පවසන මහාචාර්ය කාරියවසම් සියලු මතභේද අතහැර දා භාෂාව නඟා සිටුවීමට කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කර සිටී.
මානව භාෂාව මානව සත්ත්වයා සතු සංසිද්ධියකි. එම සංසිද්ධිය උපයෝගීකොට ගෙන ඔහු සන්නිවේදන කටයුතු සිදු කරයි. භාෂාව සූත්‍ර සමුදායකින් නියන්ත්‍රික සංසිද්ධියකි. භාෂාවේ සූත්‍ර සමුදාය අප ප්‍රගුණ කොට ඇත. අප ප්‍රගුණ කළ සිංහලය පිළිගත හැකි ආකාරයට අපි භාවිත කරමු. මේ සූත්‍ර ව්‍යාකරණ නමින් ද හඳුන්වයි. සිංහල භාෂාව භාෂණය හා ලේඛනය යන ද්වි රූපිකාවෙන් යුක්ත වන බව පවසන මහාචාර්ය තිස්ස ජයවර්ධනයන් සිංහලයෙහි ගැටලු පවතින්නේ ලේඛනයෙහි පමණක් බව ද පවසයි.
එසේ ලේඛනයේදී වැරැදි සිදුවන්නේ ලේඛනය කෘත්‍රිම ව්‍යාපාරයක් බැවිනි. භාෂණයෙහි ශබ්ද ශ්‍රවණ ගෝචරය. ලේඛනයේ සංකේත ගෝචර වන්නේ දෘෂ්ටියටයි. ස්වාභාවික ක්‍රියාවලියේ වැරැදි සිදුවන්නේ නැත. ආයාසයෙන් කරනු ලබන ලේඛනය අභිනවයෙන් උගත යුතුය. ලිඛිත භාෂාවේ නීති රීති හැදෑරීමට අප උත්සාහ ගත යුතු වේ. එසේ නොවු කල වැරැදි සිදු වේ. මානව සත්ත්වයා ආයාසයෙන් කරනු ලබන දෙයට වැඩි කැමැත්තක් නැත. සිංහල ලියද්දී කරන වැරැදි භාෂාවේ වැරැදි නොවේ. භාෂාව නිශ්චිත රීති සම්ප්‍රදායකින් යුක්ත යයි පවසන තිස්ස ජයවර්ධනයන් පුද්ගලයන්ට එය තවමත් නිශ්චිතව නිර්වචනය කිරීමට අපහසු වී ඇති බව ද පවසයි.
භාෂාවට නිශ්චිත ව්‍යාකරණයක් ඇති බැවින් භාෂාව දූෂණය වන්නට හේතුවක් නැති බව ද භාෂාව නොදන්නා කමින් දූෂණය වී ඇත්තේ පුද්ගලයා බව ද පවසන මහාචාර්යවරයා පුද්ගලයා භාෂා දැනුමින් පෝෂණය කර සිංහල භාෂාව ඉදිරි කාලයේදී යහපත් තත්ත්වයකට ගෙන ඒමට හැකි වන බව ද පවසයි.
“රටක් පාලනය කිරීමට මට අවස්ථාව ලැබුණොත් මා කරන්නේ භාෂාව නිවැරැදි කිරීමයි” යනුවෙන් කන්ෆියුසස් පඬිවරයා පවසා ඇති බව සිහිපත් කළ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ඔබ කියන දේ අපැහැදිලිනම් කලාව ද, යහගුණය ද දහම ද පිරිහෙන බැවින් ඔබ ගේ කීමෙහි ආරෝවක් නොතිබිය යුතුයි’ යන්න කන්ෆියුසස් ගේ අදහස බව පැවැසීය.
අපේ රටේ භාෂාවේ පෝෂණයට ක්‍රියාත්මක වූයේ තනි පුද්ගල ව්‍යාපාරය. කුමාරතුංගයෝ තම භාෂා ව්‍යාපාරය මඟින් බස පෝෂණය කළහ. ජනමාධ්‍ය ජනතාව අතරට ගෙන යන්නේ භාෂාව භාවිතයෙනි. සාහිත්‍යධරයන්, කවීන්, ලේඛකයන්, ආදි සියල්ලන්ටම වඩා වැඩි වගකීමක් මාධ්‍යයට තිබේ. නූගතුන් අතරට භාෂාව ගෙනයන්නේ මාධයයි. භාෂාව අයාලේ යා නොදී හීලෑ කර ගත හැක්කේ ව්‍යාකරණයෙනි. අපේ අදහස් නිවැරැදි ලෙස ඇඟවිය හැක්කේ භාෂාව පිළිබඳ හා ව්‍යාකරණ පිළිබඳ දැනීම තුළිනි.
භාෂාව භාවිත කරන්නන් භාෂාවේ අරුත් විස්තාරණය කරනු ලබන බව කී කුරුවිට බණ්ඩාරයන්, ඩී. බී. ධනපාල, පුවත්පත් බසේ යෞවන විලාසයක් පොතේ බසේ තලත්තෑනි බවත් පණ්ඩිත කමේ ලක්ෂණත් තිබිය යුතු යැයි පැවැසූ බව කීය.
ඩී. බී. ධනපාලයෝ බොහෝ ව්‍යාකරණ රීති ලිහිල් කළ අතර “සවස” පුවත්පත න ණ ළ ල පවා නොතැකූ බව කීහ. එහෙත් ජාතික පුවත්පතේ සම්මුති භාෂාව ප්‍රවේශමෙන් භාවිත කළ බව ඔහු පැවැසීය. “ඇත්ත” කර්තෘ බී. ඒ. සිරිවර්ධන භාෂාව පෝෂණය කළ බව ද ඔහුගේ පුවත්පත් බස උගතුන් ඇගැයීමට ලක්කළ බව ද සිහි කළේය. බී. ඒ. සිරිවර්ධන කුමාරතුංගයන්ගේ වියරණ අනුගමනය කළ බව ද කුරුවිට බණ්ඩාරයෝ පැවැසූහ.
අතීත පුවත්පත් කතුවරු භාෂාව පිළිබඳ පර්යේෂණ කළ ද වත්මන පුවත්පත් කතුවරු එසේ පර්යේෂණ කිරීමට සමත් වී නැති බව පැවසු කුරුවිට බණ්ඩාරයන් ව්‍යාකරණ රසවත්ව ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් අවශ්‍ය බව පැවැසීය.
මාධ්‍ය ඔස්සේ භාෂාව පරිහානියට හේතු වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී භාෂාව පිළිබඳ නිවැරැදි අවබෝධය ලබා නොතිබීමයි යන්න බොහෝ විද්වතුන්ගේ අදහස විය. පාසල් පන්ති කාමරයේ සිට භාෂාව නිවැරැදිව ඉගැන්වීම හා නිවැරැදි ව්‍යවහාරය හුරු කිරීම ද, ස්ව භාෂාවට ආදරය කිරීමට දරුවන් හුරු කිරීම පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
’භාෂාව නොයොදවන ලද ක්‍ෂෙත්‍රයන් හි යෙදවීමෙන් භාෂාව ප්‍රසාරණය වේ.’ යන්න මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ අදහසකි. සිංහල භාෂාව විවිධ විෂය ක්‍ෂෙත්‍රයන්, නිර්මාණ කාර්යයන්හි මෙන් ම මාධ්‍යය ක්ෂේත්‍රයේ ද යොදා ගැනේ. එ මගින් බස පෝෂණය වේ. අතීතයේ පෙරදිග භාෂාවන්ගෙන් පෝෂිත හෙළ බස වර්තමානයේ පරිහානියට පත්ව ඇතැයි ඇතැම් විද්වතුන්ගේ මතයයි.
වාග් විද්‍යා විෂය ක්‍ෂෙත්‍රයට අයත්වන භාෂාව ඒ ඒ පුද්ගලයා විසින් උපයෝගී කරගන්නා වූ භාෂාමය කුසලතා මත අභිප්‍රේරණය වේ. සිංහලයේ ලිඛිත ව්‍යාකරණය මෙන්ම කථික ව්‍යාකරණය මඟින් භාෂාවේ නිවැරැදි ව්‍යවහාරය නිරූපණය කෙරේ. ඒ භාෂා රීතියයි. ඇතැම්හු ව්‍යාකරණය විදුහුරු බවින් තොර යල්පැන ගිය එකක් බව ප්‍රකාශ කරති.
ව්‍යාකරණයේ නිරුක්ති විමසා බැලීමේදී ව්‍යාකරණයෙන් අභිප්‍රේත කාර්යය වාග් විද්‍යාවෙන් අභිප්‍රේත කාර්යයට සමාන බව ප්‍රකට වේ.
ජීව භාෂාවේ පරිණාමය ඉතා සෙමෙන් සිදුවේ. ඊට සමාන්තරව ව්‍යාකරණයේ ද වෙනස්වීම් සිදුවේ. භාෂාවෙන් අපේක්‍ෂිත සන්නිවේදනය සිදුවන්නේ එහි භාවිතය අදාළ භාෂක සමාජය පිළිගත් සම්මුතියට අනුකූල වුවහොත් පමණි.
මවු බසේ සැබෑ වියරණය වන භාෂණ පරිග්‍රහණයෙන් පසු විධිමත් අධ්‍යාපනය ලබද්දී භාෂක සමාජයෙහි සාමාජිකයන් සඳහා ලේඛන ව්‍යවහාරයෙහි ව්‍යාකරණ අධ්‍යයනයට අවකාශ සැලසේ. ලිඛිත ව්‍යාකරණයෙන් අපේක්‍ෂා කරන්නේ සන්නිවේදනාර්ථයෙහි සැක සහිත බව ඉවත් කිරීමයි. නිවැරදි සන්නිවේදනයට ලේඛනයෙහි දී ව්‍යාකරණමය නිරවද්‍යතාව අවශ්‍ය වේ. එසේ තිබියදීත් ඇතැම්හු අපහසු වූ ලේඛන ව්‍යවහාර පසෙක දමා කථන භාෂාවෙන් ලිවීමට විදග්ධ ලේඛකයනට ආරාධනා කරති.
භාෂාව නොහැඳිනීම යනු තම අදහස් හා දැනුම අනෙකාට පැවැරීමට ඇති නොහැකියාවයි. අනෙක් අතට දැනුම සංස්කෘතිය හා අදහස් වටහා ගැනීමට නොහැකි වීමයි. එවිට සිදුවන්නේ පුද්ගලයා සමාජයේ සංස්කෘතිය දැනුම අවබෝධය නොමැති හිස් අයකු බවට පත්වීමය.
සිංහල ව්‍යාකරණය ලේඛන සිංහලයේ නීතියයි. එය බිඳී ගිය කල ලේඛනය අපභ්‍රංස බවට පත් වේ. සම්මත රීති බිඳ දැමීමට වඩා භාෂාවේ සම්මත රීති රැකීම භාෂාවට කරනු ලබන ගෞරවයකි. අනාගත පරපුරට කරනු ලබන මහඟු සේවයකි. එසේ නොකළහොත් අප සිතා සිටිනවාටත් වඩා වැඩි වේගයකින් “සිංහලය” මළ භාෂා ගොන්නට වැටෙනු ඇත.

No comments:

Post a Comment